Thursday, October 27, 2016

niwaradi budu dahama hadunaganimu

කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත්තත්, කවුරුන් පිළි නොගත්තත්, බුද්ධ ධර්මය ලෝකයාගේ භාවිතයේ පැවතුනත්, භාවිතයේ නොපැවතුනත් උතුම් බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ පරම සත්‍යයන්, ධර්මතාවයන්, නියාම ධර්මයන් ජීවත් වන හැම සත්වයෙකුටම, හැම ප්‍රාණියෙකුටම, හැම මොහොතක් පාසාම නියත වශයෙන්ම ප්‍රතිවිපාක උරුම කර දෙන්නා වූත් සදාතනික වූත් නියත ධර්මතාවයන්ය. තමන් විසින් කරන ලද හොඳ හෝ නරක හෝ දේ ඊට අනුරූපවම ඒ මොහොතේ පටන්ම තමන් කරාම ආපසු ප්‍රතිවිපාක ලෙසින් උරුම වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු දෙයක් නොවේ. මුළු මහත් මිනිස් වර්ගයාටම පොදුවේ දේශණා කර පෙන්වා වදාළ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව නම්, මේ පරම සත්‍යයන් තෙරුම් ගත නොහැකිය.
බුද්ධ ධර්මය දේශණා කර බුදු පියාණන් ලෝකයාට පෙන්වා වදාළ විමුක්ති මාර්ගය ඉතාම සරළ, පැහැදිලි ප්‍රතිපත්ති මාර්ගයකි. සෘද්ධි ප්‍රාතිහාරයයන් මවා පා, මැජික් සංදර්ශණ පවත්වා මිනිසුන්ව මුළා කරමින් මිනිසුන්ගේ සිතේ ලෞකික බලාපොරොත්තු උත්පාදයන කරවමින්, බුද්ධ ධර්ම මාර්ගයට මිනිසුන් හරවා ගැනීමේ හෝ බඳවා ගැනීමේ ක්‍රමයක් බුදු පියාණන් කිසිවිටෙකත් අනුගමනය කළේ නැත. බොහෝ ආගම්වල නම්, මේවැනි ළාමක දේ ක්‍රියාත්මක කරනු බව අදටත් දැකගත හැකිය.
බුදු පියාණන්වහන්සේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශණා කර වදාළේ සදාකාලිකව සැප සම්පත් විඳින දෙවියන්, බ්‍රහ්මයන් සමූහයක් බිහි කරන්නට හෝ ධනවත්, බලවත්, නැණවත්, මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ. දුක් විඳින දිළිදන්ට සැප සම්පත් ලබා ගන්නට මඟ පෙන්වා ඔවුන් සනසාලන්නටද නොවේ. මේ උතුම් ධර්මය එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන්, මෝහයෙන් මිනිසුන් මුළා කරවන්නට දේශණා කල එකක් නොව, මිනිසත් බව ලැබූ මේ ආතමයේදීම ලබාගත හැකි, ලබා ගතයුතු විමුක්තිය, නිදහස නිවන ලබා දීමට මග පෙන්වීම සඳහාම ඉදිරිපත් කල ධර්මයකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.
මිනිසෙකු ලෙස උපත ලත් මේ ආත්මභවයේදීත් පින්කම් පමනක්ම කරමින්, මතු සැප සම්පත් පතමින්, යැදුම් යදිමින් කාලය අපතේ යෑවීම තව කල්ප කාලාන්තරයක් සංසාර දුකම උරුම වීමට පමනක් හේතු වේ. සියලුම ආගම්වල උත්සහය හොද, නිවැරදි යහපත් මිනිසුන් සමුහයක් සාමජයට බිහි කිරීමයි. අප එය අගය කල යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය ලෝකයාට ඉදිරිපත් කලේ අනන්ත දුක් කන්දරාවක් විදිමින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ අතරමං වී, මංමුලා වී ගමන් කරන පෘතක්ජන ලෝකයාට සදහටම දුකින් මිදෙන්නට නිවැරදි මග පෙන්වා දෙනු සදහාය.