නීවරන ධර්ම
කාමයට ඇති අධික කැමැත්ත (කාමච්ඡන්දය)
වෛරී චේතනා අධික බව (ව්‍යාපාදය)
කුසලයට අකමැතිබව (ථීනමිද්ධ)
නිතොර කනස්සල්ලෙන් පසුවීම (උද්දච්චකුක්කුච්ඡ)
ධර්මය පිළිබදව ඇති සැකය (විචිකිච්ඡාව)
නිවන බොදුනුවාගේ ඒකායන අරමුන බව ප්රත්යක්ෂයය. එසේනම් මේ නිවන අහුරන ධර්මතාවයන් පිළිබදව නිවැරදි අවබෝධයක් නිවන් මගට පිවිසීම අරමුණුකරගත් බොදුනුවා වටහාගෙන තිබීම ඉතා වැදගත් වේ. නිවන සිත ප්‍රධාන කොට පවත්නා ධර්මතාවයකි. එසේම නිවන අහුරන නීවරන ධර්මයන් ද සිත මුල්කරගෙනම පවතී. එබැවින් සිතතුල ජනිත වන්නා වූ මෙකී නිවරන ධර්මයන් හොදින් හදුනාගත් කල්හි එයින් දුරුවී නිවනට මග සකසා ගැනුම පහසුවනවා ඇත.
මුලින්ම සිතේ ඇතිවන්නාවූ කාමච්ඡන්දය හදුනාගත යුතුයි. සිතේ නිරන්තරයෙන් ඇතිවන කාමරාගී සිතුවිලි ශුභ වශයෙන්ම ග්රහනයකරගැනීම මෙනයින් හැදින්විය හැක. මෙසේ කාමය ශුභවශයෙන් ගැනීමෙදි එවන් සිතුවිලි වර්ධනය වෙමින් තව තවත් කම්සැපයෙහිම ඇලීම සිදුවේ. කාමයට ඇලුනු සිත තමාව සසරටම ඇද බැඳ තබයි.
ඉන් මිදී නිවන අත්කරගැනීමට කැමති හෙතෙම කාමය ශුභ වශයෙන් ගැනීමෙන් වලකී. එහි ඇති නිස්සාරබව හා අනිත්‍යබව මෙනෙහි කර එහි නොඇලේ. එකල්හි නූපන් කාමච්ඡන්දය නූපදින්නේය. උපන් කාමච්ඡන්දය ප්‍රහින වන්නේය.
ව්‍යාපාදය හෙවත් වෛරය ඉතා දරුණු විපාක ගෙනදෙන සසර අතොරක් නැති දුකට හෙලන අතිශය විපත්ති දායක සිතුවිල්ලකි. වෛරයෙන් වෙලුන සිත ඇති තැනැත්තා අන් අයටත් තමන්ටත් සිදුකරගන්නේ නපුරක්මවේ. හෙතෙම ශාරීරිකව හා මානසිකව දුරුවල තත්වයකට පත්වන අතර මෙලොව පරලොව දෙකෙහිම අප්‍රමාණ දුකකට පත්වේ. වෛරී සිතුවිලි වලින් මිදී සිත ගත සුවපත්කරගැනීම සදහා මෙත්සිත පුරුදුකරීම අත්‍යවශ්‍යවේ. එසේ මෙත් සිත වඩනකල්හි ශාරීරිකව හා මානසිකව ලබන සුවය දෙලොව වැඩ පිණිසම හේතුවේ. එකල්හි නූපන් ව්‍යාපාදය නූපදින්නේය. උපන් ව්‍යාපාදය දුරුවන්නේය. සිත නිවන මග පහසු වන්නේය.
ථිනමිද්ධ, යමෙක් කුසල් දහම් හි නොකැමැතිවේ නම් හෝ කුසලට සිත යොමු නොකරත්නම් ඔහුගේ ප්‍රඥාව නොවැඩේ. හෙතෙම පස්කම් සැපයෙහිම ගිජුව සසර ගමන දිගුකර ගනී. එසේම තමන් දුකටම පත්ව දිගුකලක් සසර දුක්විඳී. එබැවින් සසර දුක නැතිකර නිවන ලබනු කැමැත්තේ හැමවිටම කුසලට සිත යොමුකර කුසල් දහම් වඩමින් ප්‍රඥාව වර්ධනය ගනී. එවිට කුසලට ඇති නොකැමැති බව දුරුවී උපන් කුසල් වර්ධනය වන අතර නූපන් කුසල් උපදවාගනී. කුසලට යොමුවීම පුථම ආරම්භක වීර්ය ලෙසද අකුසලයෙන් වෙන්වීම නෙක්ඛම්ම ධාතු ලෙසද ගැනේ.
උද්දච්ච කුක්කුච්ඡ, කුසල් දහම් වැඩීමට සිත සංසුංකර ගැනීමට අපොහොසත්වීම නිවන දුරස්වන තවත් සාධකයකි. එහෙයින් කුසල් වැඩීම සඳහා සිතේ ඇතිකරගන්නා සංසුංබව ඔබව නිවනට වඩාත් ලංකරනු ඇති.
බොහෝ කාර්ය බහුලබව හා අවිවේකීබව ඔබේ සිත වෙහෙසට පත් කරන අතර නොසංසුන් බව ඇතිකරයි. එවිට සිත නිවන මග ඔබෙන් බොහෝ ඈතට දිවයයි. සිත සංසුන් කරන මග භාවනාව හෙවත් සිහිය මනාව පවත්වා ගැනීමයි. ඒ සඳහා ඔබ තුල ඒ පිළිබඳ විස්වාශය අතිශය වැදගත්වන අතර ඒ සඳහා වීර්ය වැඩිය යුතුයි. නිවරැදිව වඩන ලද සිත තමාව නිවනට යොමුකරනු ඇත.
විචිකිච්ඡාව හෙවත් සැකය නිවන අහුරන අනෙක් භයානකම සතුරායි. බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි හා බුද්ධාදී අටතැන්හි ඇතිකර ගන්නා සැකය නිසා සිත නිවීම සඳහා යොමුකරන මගට යොමුනොවන හෙතෙම සසර බැඳීම් වලින් ඈත්වීමක් පිළිබඳව නොසිතයි. කම් සැපයෙහිම ඇලී ගැලී දිවි ගෙවයි. බොහෝ පාපයන් සිදුකරගන්නා අතරම අතොරක් නොපෙනෙන සසර මගට පත්ව දුකින් දුකටම පත්වෙයි. බුද්ධ,ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ නොමද විස්වාශයෙන් හා ශ්‍රද්ධාවෙන් යුක්තව දහමෙහි යෙදෙන සිහිය මනාව පවත්වාගැනීම තුලින් ප්‍රඥාව වඩන නුවණැති පුද්ගලයා නොමද වීර්යයෙන් කටයුතු කොට උතුම් වූ නිවනට පැමිණේ.
මෙසේ පංච නීවරන හොඳින් හඳුනාගෙන නිවන අහුරන එකී බැමි බිඳදා අද අදම නිවන් මගට පැමණීමට උත්සාහ කරමු.