භාවනාව - ධ්‍යාන
හා මාර්ගඵල-
බුදුපියාණන්වහන්සේද
බෝධිසත්ව යුගයේ වසර හයක් තිස්සේම විවිධ දුෂ්කර ක‍්‍රියා කරමින් අනුගමනය කළේ මෙවන්
අනරිය වූත් ලෞකික වූත් නියත ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකිවූත් ආනාපාන සති භාවනා ක‍්‍රමයකි.
එය තමන් වහන්සේම අත්දැක තිබූ නිසාත් එම භාවනා ක‍්‍රමයන් ප‍්‍රාණයාම, හතයෝග ආදී විවිධ නම් වලින්ද කසින භාවනා ක‍්‍රම
ලෙසින්ද එවකට ජන්බුද්වීපයේ ප‍්‍රචලිතව පැවති නිසාත් පැහැදිළිවම මේ ලෞකික භාවනා ක‍්‍රම
බැහැර කළහ. තමන් වහන්සේ වසර හයක්ම අත්විඳි මහා දුක් කන්දරාව තවත් කෙනෙකුට විඳවන්නට
ඉඩ නොතබනු පිණිස මෙම පිරිසිදු බුද්ධ ආනාපාන සති භාවනාව විග‍්‍රහකර තම ශ‍්‍රාවකයින්ට
පෙන්වා වදාළහ.
මේ අනුව හැම
කෙනෙකුම නිවැරදි ආකාරයට තේරුම් ගත යුත්තේ ආනාපාන සති භාවනාවද දෙයාකාරයකින්ම භාවිතා
වන බවයි. එකක් ලෞකික අර්ථයෙන් අර්ථ ගැන්වූ පෙර පටන්ම පැවත එන හුස්ම ඉහළ පහළ යාම
පිළිබඳ මෙනෙහි කරමින් පිම්බීම හැකිළීම දෙස බලා සිටින අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමයයි.
අනික ධර්මයෙන්
අර්ථ ගැන්වූ කාමයෙන් වෙන්විය හැකි,
අකුසල
ධර්මයන්ගෙන් වෙන්විය හැකි,
සේවනය කළයුතු
හා සේවනයෙන් බැහැර කළයුතු ධර්මයන් තේරුම් ගෙන ඒවා ආනාපානය කිරීමේ අරිය භාවනා ක‍්‍රමයයි.
ආන යනු ඇතුළට ගැනීමයි. (ආනයන) පාන යනු පිට කිරීමයි (අපනයන). අස්ස යනු ආශ‍්‍රය
කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කිරීමයි. අස්සාස පස්සාස යන පද දෙකද හුස්ම
ඇතුළට ගැනීම හා පිට කිරීමට මෙන්ම,
ඉන්ද්‍රියයන්
හයෙන්ම ඇතුළට ගන්නා විවිධ ගති ලක්ෂණ ඇතුළට ගැනීමත් ඉන්ද්‍රියයන් හයෙන්ම පිට කර
බැහැර කළයුතු දේ බැහැර කිරීමත් යන අර්ථයෙනුත් බුද්ධ භාෂිතයේ භාවිතා කළ බව ඉතාම
පැහැදිළිය.
හුස්ම ඉහළට
පහළට ගැනීම කෙරෙහි පමණක් සිත යොමුකර, කය දෙස බලා
සිට සිතට එන අරමුණු සියල්ලම බැහැර කර දැමීමෙන්ද සිත සමථයට පත්වීම සිදුවේ. මේ
ආකාරයට සිත සමථයට පත්කර ගැනීම මගින්ද රාග, ද්වේෂ සිතුවිලි
වලින් බැහැරව, එවන් අරමුණු යටපත් කර, ධ්‍යානයන් ලබාගත හැකි ක‍්‍රමයක් ද තිබේ. එය
ලෞකික වූත්, අනරිය වූත්
බුදුපියාණන් ප‍්‍රතික්ෂේප කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයයි. මෙහිදී වන්නේ රාග, ද්වේෂ, මෝහ අරමුණු, සිතිවිලි තාවකාලිකව යටපත් කිරීමේ ක‍්‍රියාදාමයක්
සිදුවීම මිස රාග, ද්වේෂ, මෝහ අරමුණු සහමුළින්ම ඉවත්කර දමා ”භව” නිරෝධ කරන
අරිය ක‍්‍රමයක් නොවේ.
උපාදාන නිරෝධ
කර, ”භව” නිරෝධ කිරීමේත්, භව නිරෝධ කර ජාති නිරෝධ කිරීමේත් අරිය ආනාපන
සති භාවනාව වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ භාවිතා කළ එකක්ද නොවේ. පරම පවිත‍්‍ර
බුද්ධ ධර්මය ජීවමානවීමත් සමඟම මතුවී එන භාවිතයට ගත හැකි මෙම ආනාපානසති භාවනා ක‍්‍රමය
භාවිතා කිරීමෙන්ම පමණක් උතුම් නිවන් අවබෝධයද පූර්ණ කර ගත හැකිය. ඒ සඳහා බුද්ධ
දේශණාවෙන් ගෙනහැර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේත්, ඊට සම්බන්ධ තවත් සූත‍්‍ර ධර්ම කිහිපයකත්
ධර්ම අර්ථයම විග‍්‍රහකර යථා පරිදි පෙන්වාදී කළයුතු හා නොකළ යුතු යන දෙපැත්තම
තේරුම් කර පෙන්වා දිය යුතුමය.
රාග, ද්වේෂ ගති ලක්ෂණයන් තාවකාලිකව දවාහැර, යටපත් කරදමා ලබන ලෞකික වූත්, අනරියවූත් ධ්‍යානයන් ලැබීමෙන් නිවන් අවබෝධය
සඳහා මාර්ගඵල පූර්ණ කර ගැනීම හෝ ප‍්‍රඥා විමුක්තියට පත්වීම හෝ සිදුවන්නේ නැත. පරම
පවිත‍්‍ර බුද්ධ ධර්මය අසාදැන,
තේරුම් ගෙන තම
තමන්ගේම සිත් කිළිටි වන්නේත්,
තමන්ගේ සිත
තුළට රාග, ද්වේෂ, මෝහ අරමුණු ඇතුලු කරගන්නේත්, තම කැමැත්තෙන්ම බවත් ඒ කැමැත්ත අවිද්‍යාව
නිසා නොදන්නාකම නිසා තමන්ම ඇති කරගත් තණ්හාව බවත් තේරුම් ගත යුතුය.