Wednesday, September 21, 2016

බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම

බුද්ධ දේශණාවේ ආධ්‍යාත්මය හා ප්‍රායෝගික ක්‍රමවේදය-බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම- 

රාග, ද්වේශ,මෝහ යන කෙළෙස් සහිත අරමුණු, සිතෙහි මතුවනවාත් සමඟම ඒවා මොනතරම් ප‍්‍රිය අරමුණු වුවද, ආස්වාද ජනක දේ වුවද, ඉන්ද්‍රියයන් පිනවන දේ වුවද, ඒවා නිවනට ප‍්‍රතිපක්ෂ බව දැක, ඒවා නිවනට බාධක බව දැක, ඒවා නිසා නිවන ප‍්‍රමාද කරන බව යථා පරිදි තේරුම් ගෙන, එවැනි කෙළෙස් ධර්ම, කළු ධර්ම, සිතෙහි මතු වන මෙහොතේදීම, ඒවා දිගේ සිතින් රෝද ගැසීම නවත්වා, ඒ අරමුණු වෙනස් කර, ඊට ප‍්‍රතිපක්ෂ අරමුණක සිත යොදවා, අවසානයේදී ඒ කිළිටි ගතිය සිතින් අස්කර දමන්නටම ක‍්‍රියාකළ යුතුය. මේ පියවර තුනම අනුගමනය කළ හැකි වන්නේ, මේ ආරක්‍ෂක ආයුධ හතරම භාවිතා කිරීමෙනි. ධම්මානුධම්ම ප‍්‍රතිපදාවෙහි යෙදෙන්නට පුහුණුවක් ලැබූ, ඒ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ආර්යය ශ‍්‍රාවකයකුට, දැන් ආයුධ හතරම භාවිතයට ගෙන, පළමුව තම සිත සමථයකට පත්කර ගෙන කෙළෙස් තුනීකර ගැනීමටත්, දෙවනුව ඊට සමගාමීවම කෙළෙස් සහමුළුන්ම කපා, උගුල්ලා දැමීමටත් දැනුමක් හා ශක්තියක් ද ලැබෙන්නේය. 

මෙවන් ආර්ය ශ‍්‍රාවකයා දැන ගත යුතු දේ යථා පරිදි දැන ගනී. දැන ගෙනම ආශ‍්‍රය කළ යුතු දේ ආශ‍්‍රය කරයි. ප‍්‍රහාණය කළ යුතු දේ, ප‍්‍රහාණය කරන්නේද යථා අවබෝධයකින්මය. මෙය හුස්ම පිට කිරීම හා ඇතුළු කිරීමට වඩා බොහෝ වෙනස්ය. පෙර සඳහන් කර පෙන්වූ යහපත් අරමුණු හයම හය දොරකින්ම ආශ‍්‍රය කර ඇතුළට ගන්නටත්, ආශ‍්‍රනොකර දොරවල් වසා බැහැර කළයුතු දේ බැහැර කර තබන්නටත් හැකි බව මෙවන් ආර්ය ශ‍්‍රාවකයා දැන ගනී. මෙය බුද්ධ භාෂිතයේ පෙන්වූ අනාපානාසතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි. ඉන්පසුව ඕනෑම ඉරියවුවකින්ද ආනාපානාසතියෙහි පිහිටා කටයුතු කරන්නටද හැකි ශක්තියක් ලබා ගනී. සක්මන් කිරීමේදීත් ඉඳගෙන සිටිමේදීත්, සිටගෙන සිටීමේදීත්, නිදාගෙන සිටිමේදීත්, චිත්ත සන්ථානය ඇතුලට ගත යුතු දේත්, සිතින් බැහැර කළ යුතු දේත්, තීරණය කරන්නට හැකි ශක්තියෙන් ක‍්‍රියාකරන පුද්ගලයා, නිසි පරිදි ඉරියාපථ පබ්බයෙන්ද ආනා පානා සතිය ක‍්‍රියාත්මක කරන්නට දැන ගනී. දවසේ පැය 24 පුරාමත් (නිදියගත් අවස්ථාවේ හැර)ආශ‍්‍රය කළ යුතු දේ දැන ආශ‍්‍රය කරයි. ආශ‍්‍රයෙන් බැහැර කර ප‍්‍රහාණය කළයුතු දේ තෝරා බේරා ප‍්‍රහාණය කරන්නටද දනී. 

දැන් මේ ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේ, සිතින්ම ප‍්‍රහාණය කළ යුතු කෙළෙස් මුලින්ම කපා, උගුල්ලා දමන්නටමය. ඒ නිසා මේ ආයුධ හතර එනම්, මරණානුස්සසතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, හා බුද්ධානුස්සතිය ප‍්‍රායෝගිකවම භාවිතා කළ යුතු ආකාරය සොයා බලමු.