Wednesday, September 21, 2016

-ඥාණය හා ප්‍රඥාව-

බුද්ධ භාෂිතයේ පිරිසිඳ දැකීම-ඥාණය හා ප්‍රඥාව

එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල, මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, සීල කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ. 
නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට වඩා පිරිහී ආගම් සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක් ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි.

කොතරම් ශ‍්‍රද්ධාවෙන් යුක්ත වූ බෞද්ධයකුට වුවද අද එකවරක්, දෙකක් අසා මේ උතුම් ධර්මය තේරුම් ගෙන තම චිත්තසංථානයේ ගබඩා වී ඇති දෙව්, මිනිස් සැප පැතීමේ ගතිය, දෘෂ්ඨිය ඉවත් කර ගත නොහැකියි. එය ඉතාමත් ම අමාරු කාර්යයකි.
 කළු ධර්ම යනු මේ ගතිගුණ හා බැදුණු මතු බලාපොරොත්තු වේ. අද මිනිසුන් සිල් රකින්නේ දෙව් ලොව යෑමේ සැප විඳීමේ බලාපොරොත්තුවෙනි. දන් දෙන්නේ, දෙන දේ මෙන් සිය දහස් ගුණයක් ආපසු ලබා ගැනීම සඳහායි. 
භාවනා කරන්නේ ධ්‍යාන ලබා මානයෙන් ලෝකයාට ඍද්ධි ප‍්‍රාතිහාර්යයන් පෙන්වීම සඳහායි. 
මානයෙන්, මමත්වයෙන් ක‍්‍රියා කරනු මිස කළු ධර්ම මොනවාද යන්න නිසි අවබෝධයක් ඇතිව ධර්මානු ධම්ම ප‍්‍රතිපදාවේ යෙදෙන මිනිසුන් අද බෞද්ධයින් අතරත් විරල වේ.
ධර්මය දේශණා කරන බොහෝ දේශකයින් තමාගේම ආත්ම ලාභය සඳහාම මුදල් එකතු කර ගැනීමටත්, පොත් විකුණා වෙහෙර බෝමළු සෑදීමටත්, තමන්ගේම සුඛ විහරණය සඳහා ප‍්‍රසිද්ධිය, ප‍්‍රචාරය ප‍්‍රසංසාව, ප‍්‍රණාමය හෝ ප‍්‍රතිලාභයක් හෝ සඳහාම ධර්මය දේශණා කරයි නම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් ලැබේ යැයි සිතිය නොහැකියි.
 මේ අනුව කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දීමත්, ලබා ගැනීමත් යන දෙකම අද එක සේ අමාරු කාරණා දෙකකි. කළ්‍යාණ මිත‍්‍රයා යනුු කවුද, කළ්‍යාණ මිත‍්‍රයාට කළ හැකි දේ මොන වාගේ දෙයක් ද යන්න හොඳින් නිවැරදිව ම තේරුම් ගත යුතුයි.
මිනිසුන් ඇතුලු සියලු සත්ත්වයන්, දෙවියන් පවා සංසාර ගමනට කැමැත්තෙන්ම බැඳෙන්නේ, ඇලන්නේ, පටළැවෙන්නේ, මුළා වෙන්නේ තම තමාගේම චිත්තසංථානයෙහි රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස්, කළු ධර්ම ගබඩා වී, මුල් බැස පැවතීම නිසයි. 
මේ කෙළෙස් අත් හැරීමට, ප‍්‍රහාණය කර ඉවත් කර දමා ඒවායින් නිදහස් වීමට තම තමන් තුළම ඇති මේ ශක්තිය පිළිබඳව මනසක් ඇතිව උපන් මිනිසුන් අතුරින් පවා තේරුම් ගන්නේ කිහිප දෙනෙකු පමණි. බොහෝමයක් දෙනෙකුට මේවා තේරුම් ගැනීමටද නොහැකියි. තවත් කොටසක් මෙවැනි ධර්මය ඇසීමට පවා අකමැතියි. මේ කෙළෙස්, කළු ධර්ම බුදුපියාණන් වහන්සේම පෙන්වා දුන්නේ කුණු ලෙසයි.
අද කුසලස්ස යන පදයත් පින්කම් යන පදයත් බොහෝ අය පටලවා ගෙන භාවිතා කරති. අස්කර, ඉවත් කර නිදහස් විය යුතු කුණු ගොඩක් පිළිබඳව කියැවෙන කුසල් යන පදයත්, සිත පහන් කර චිත්ත ප‍්‍රසාදයත් සඳහා කරන පින්කමත් ක‍්‍රියා දෙකක් බව තේරුම් ගත යුතුයි. 
පින්කම් කර සිතේ පැහැදීමක් ඇති වූ විට දෙවනුව සිතේ ගබඩා වී පවතින කුණු, රාග, ද්වේෂ, මෝහ මුළින්ම ගළවා, අස්කර ගැනීමටත් හැකි වේ. ඒ නිසා නිවනට මේ දෙකම එක සේ අවශ්‍ය වේ. කුණු සළා අස්කර දැමීමට නම් ප‍්‍රඥාව යන ශක්තියත් අවශ්‍ය වේ.
ප‍්‍රඥාව අවශ්‍ය වන්නේම කුසල් පූර්ණ කර ගැනීමටයි. ප‍්‍රඥාවෙන් කර ගන්නේ පජාහති, පහානාති, පස්සති යන අස්කිරීම, බැහැර කීරීම, මුළින්ම ගළවා ඉවත් කිරීම වශයෙන් පෙන්වූ ක‍්‍රියාවන්මයි. 
මෙතැනදී කළු ධර්ම බැහැර කිරීම සිදු කරනු ලැබේ. 
ඒ වෙනුවට සුදු ධර්ම භාවිතා කිරීමකුත් අවශ්‍ය කෙරේ. සුදු ධර්ම ලෙසින් ධර්මයේ පෙන්වා වදාළේ චිත්තසංථානය පිරිසිදු කරන කළු ධර්ම වලට විරුද්ධ වූ දේවල්ම වේ. 
සුදු ධර්මයන් ලෙසින් පෙන්වා වදාළ වීතරාගී, වීතද්වේෂී, වීත මෝහී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අනාසව, නිරාමිස ගති චිත්තසංථානය ඇතුළට ගැනීමෙන් මෙතුවක් කල් චිත්තසංතානය තුළම ගබඩා වී තිබූ කළු ධර්මයන් කැපී විනාශ වී යයි. 
සුදු ධර්මයන් කිසිවිටකත් විඤ්ඤාණයට ආහාර ලෙසින් භාවිතා කළ නොහැකියි. ඒ නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වී, ප‍්‍රඥාව උපදවා, පහදා ගත හැකි වේ. 
මේ අනුව සහමුළින්ම ”භව” උදුරා දමන්නට උපකාර වන බුද්ධ ඥාණ මතු වේ. ඒ ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ මාර්ගයයි.

උතුම්  නිවන  අවබෝධ  කිරීමට සැමට  ප්‍රඥාව ලැබේවා