Monday, September 26, 2016

niwaradi budu bana - භාවනාව

බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව-භාවනා කිරීමේ ඒකායන පරමාර්ථය-

කෙළෙස්වලින් පිරුණු සිතක් සහිත අශ‍්‍රතවත් පෘථග්ජනයෙක් ලෙසින් සංසාරයි කියා ලෝකයෙන් තවත් යමක් අල්ලා උපාදානය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ම ඉන්ද්‍රියයන් පිනවා යම් ආස්වාදයක් විඳවීමේ කැමැත්තෙන් ම මෙතෙක් ලෝකයට බද්ධ වී ක‍්‍රියා කළ පුද්ගලයෙකුට මේ සංසාර පැවැත්මේ යථා ස්වභාවය එනම් අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව යථා පරිදි දැන ගත හැකි වන්නේ බුද්ධ කල්පයක් තුළදීම පමණි. භද්‍ර කල්පය යනු සසරට බැඳී, සංසාර ගමනට තව තවත් බැඳෙන්නටම ක‍්‍රියා කරන කාලයයි. බුද්ධ කල්පය යනු සසර බැමි සිඳ දමා, සසර දුකෙන් මිදී නිදහස් විය හැකි කාල පරාසයයි. මේ අනුව භද්‍ර කල්පය හා බුද්ධ කල්පය ද වෙන් කොට දැන හඳුනා තේරුම් ගත යුතුයි.
මේ අතීත භද්‍ර කල්පය තුළ අනන්ත අප‍්‍රමාණ වාරයක් අනරිය ධ්‍යානයන් ලබා, අභිඥා ලබාගෙන, ඉර්ධි ප‍්‍රතිහාර්යයන් පාමින් දෙව් මිනිස් තලයන්හි මෙන් ම බ‍්‍රහ්්ම ලෝකවල ද, චක‍්‍රවර්ති රජුන් ලෙස ද, ලෝකය තුලම ඔබ අප සැම දෙනා ම අතරමං වන්නට ඇත. සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්‍ෂාව ම සම්පූර්ණ කරගෙන අනිච්ච, දුක්ඛ, අනත්ථ යථා පරිදි අවබෝධ කරගෙන නිච්ච, සුඛ, අත්ථ සංඥා සිතින් ම ඉවත් කර දමා, පංචකාම නීවරණ ධර්මයන්ම සිතින් ප‍්‍රහාණය කර දමා, රාගක්ඛ්‍යය කිරීම, ද්වේෂක්ඛ්‍යය කිරීම, මෝහක්ඛ්‍යය කිරීම බුද්ධ කල්පයක දීම පමණක් කරගත හැකි දෙයකි. මේ අනුව බුද්ධ කල්පයක් වු මේ වර්තමාන කාල පරාසයේදීත් අනරිය ධ්‍යානයන් ලබා ගන්නට ම භාවනාවන්හි යෙදීම, බුද්ධ දේශණාවෙහි නම් කොතැනකවත් පෙන්වා දුන් නිර්දේශකර වදාළ ප‍්‍රතිපදාවක් නොවේ. එසේ ධ්‍යානයන් ලබාගෙනම මඟඵල ලැබිය යුතුයැයි ප‍්‍රකාශ කරන්නට උත්සාහ දැරීම ද වැරදි ක‍්‍රියාවකි.
සිතක මතුවන, සිතක් කිළිටි කරවන, රාග, ද්වේෂ ආදී පංචකාම නීවරණ ධර්මයන් කෙළෙස් ගති තාවකාලිකව සිතින්ම යටපත් කර, සිත සමථයට පත්කර ගැනීම සමථ භාවනාවකින් ද කර ගත හැකිය. කල්ප කාලාන්තරයක පටන් අනන්ත සංසාරයේ දිගින් දිගටම මුල්බැස ගෙන, දිගටම පවත්වා ගෙන ආ ආසව, අනුසය ධර්මයන් කෙළෙස් ගති සහමුළින්ම උදුරා දමා, නැවත නොඋපදින ලෙසින්ම කෙළෙස් අස්කර දැමීමට, කෙළෙස් මුල් සිඳ දැමීමට ක‍්‍රියා කිරීම කළ හැකි වන්නේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ විපස්සනා අනුපස්සනා භාවනාවන් ප‍්‍රායෝගිකවම භාවිතා කිරීමෙනි. නිතර නිතර බහුල ලෙසින්ම භාවිතා කිරීමෙනි. ආසේවිතාය, භාවිතාය, බහුලීකථාය, යානි කථාය, වත්ථු කථාය, පරිචිතාය, අනුචිතාය, සුසමා රද්ධායයනුවෙන් පෙන්වා දුන්නේ මේ ධර්මතාවයයි.
විෂ්කම්භන වශයෙන් හා තදංගම වශයෙන් කෙළෙස් තාවකාලිකව යටපත් කර දමා යම් ලෞකික සුවයක් ලබා ගැනීම මගින්ද බොහෝමයක් දෙනා තෘප්තිමත් වන්නට ක‍්‍රියාකරන්නේ එයද සංසාර ගති පුරුද්දක් නිසාය. සමුච්ෙඡ්දප්ප‍්‍රහාණයෙන්ම කෙළෙස් ප‍්‍රහාණය කර දමා පටිපස්සදී ප‍්‍රහාණයෙන් හා නිස්සරණප්ප‍්‍රහාණයෙන් කෙළෙස් යළි නූපදින ලෙසින්ම කෙළෙස් මුල් සිඳ දමා නිදහස් විය හැකි බව ඔවුන් නොදන්නා නිසාම ධ්‍යාන ලබන්නට ක‍්‍රියා කරති. මේ අනුව ධ්‍යානයන් ලැබීමේ චේතනාවක් සිතක ඇති වන්නේ ද විඤ්ඤාණයේම ගතියක් වංචක ධර්මයක් මුල්කර ගෙනය.උරුමයෙන්ම, උපතින්ම මිනිසෙකු ලෙසින් ලබා උපන් මනසේ ශක්තිය, යහපත් සේ යහපත් ආකාරයෙන්ම, සංවරව භාවිතා කරන්නට දක්ෂ වූ පුද්ගලයා ඥාණවන්තයෙකු, ප‍්‍රඥාවන්තයෙකු බවට පත් වෙයි. උරුමයෙන් ලබා උපන් මනසේ ශක්තිය අයහපත් ලෙසින් අයහපත් ආකාරයෙන් අසංවරව වැරදි ලෙසින් භාවිතා කරමින් තමන්ටත් බාහිර ලෝකයාටත්, ස්වභාව ධර්මයාටත් හානියක්, විනාශයක්, පාපයෙන් කිළිටි කිරීමක් සිද්ධ කරන්නට ක‍්‍රියා කරන්නේ අඥාණ, අශ‍්‍රැතවත් පෘථග්ජන ගතිය නිසයි. යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය යන දෙකම වෙන්කොට හඳුනාගන්නට තරම්වත් ශක්තියක් මනසේ නැති වූ විට මිනිස් බව කෙළෙසා ගන්නා එවන් පෘථග්ජනයින් මතු කල්ප කාලාන්තරයක් යළි මිනිස් බවක උපත ලබා ගැනීමේ උතුම් අවස්ථාව ද අහිමි කර ගන්නේය. භාවනා කළයුතු වන්නේ මෙම පංචස්කන්ධ ලෝකය තුළින් තව තවත් යමක් අල්ලා ගන්නට, එකතු කරගන්නට හෝ උපාදානය කරගන්නට හෝ නොවේ.